ඔෆිස් එකට හරිම කලිසම අඳිමු

පහුගිය ලිපියෙන් අපි කතා කලා ඔෆිස් එකට හරිම ෂර්ට් එක අඳින විදිහ. ෂර්ට් එක විතරක් හරියට ඇඳලා බෑනේ කලිසමත් හරියට අඳින්න එපැයි. ඉතින් අද අපි බලමු ඔෆිස් එකට අඳින්න පුලුවන් හොඳම කලිසම ගැන.

1. Straight cut pants තමයි ඔෆිස් අඳින්න නියමෙට ගැළපෙන්නෙ
ඒ මොනාද ඒ? Straight cut pants කියන්නෙ හරි කෙලින් මහපු කලිසම් වලට. ඒ කියන්නෙ ඇඟේ හැඩය හෝ කකුල් වල හැඩයටම නැති කලිසම් කකුල් උඩ සිට පහළට එකම ප්‍රමාණයකින් යුතු කලිසම්ය. මේක ඇඟට විශේෂයෙන්ම කකුල්වලට හිරට හෝ තදට නැති නිසා ඇන්දම හරි පහසුයි. නිතර ඔෆිස් එකේ එහාමෙහා ඇවිදින්න වෙනවා නම් නැත්නම් නිතර වාඩිවෙන්න නැගිටින්න වෙනවා නම් කලිසම ඇදෙන්නෙ හිරවෙන්නෙ නැති නිසා අමතර හිසරදයක් වෙන්නෙ නෑ.

2. ස්ලිම් ෆිට් වුනත් ප්‍රශ්ණයක් නෑ
මේක අපි අර මුලින් කියපු කලිසම් වර්ගයට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. මේ කලිසම කෙලින්ම ඔබේ ඇඟේ හැඩයට ගානට ෆිට් වෙනවා. හැබැ‍යි මතක තියාගන්න අනවශ්‍ය ලෙස හිරට අඳින්න එපා. ගානට ෆිට් වුනාම ඇති.

3. ඔබ කොටයි නම් කලිසමේ ඉහළ කොටස උසින් වැඩි කලිසම් හොඳයි
ඒකෙන් අපි අදහස් කරන්නෙ නෑ කලිසම බුරියා ගාවටම තියෙන්න ඕන කියලා. නමුත් ඊට පහළින් තිබිය යුතුයි. කලිසමේ ඉහළ කොටසේ උස වැඩිවෙන්න වැඩිවෙන්න ඔබගේ පෙනුමද උස පෙනුමක් ගෙන එනවා. ඒ වගේම කලිසමේ යට වාටියෙන්ද ඔබට මිටි පෙනුමක් ගෙන එනවා. ඒ නිසා ඔබ කොටයි නම් යට වාටිය නැති කලිසම් අඳින්න.

4. උඩ කොටසේ රැලි (Pleats) තියෙන කලිසම් නම් දැන් යල්පැනලා
වෙන මුකුත් ප්‍රශ්ණයක් නෑ හැබැ‍යි කලිසමේ රැලි තියෙනකොට කලිසම ලොකු පෙනුමක් ගෙන එනවා. ඇත්තටම ඒ ෆැශන් එක දැන් කල්පැනලා. පැතලි කලිසම් තමයි දැන් ෆැශන් එක.

5. දිලිසෙන කලිසම්? එපා එපා එපා
දිලිසෙන කලිසම් ඔෆිස් නෙමෙයි උත්සව අවස්ථාවලටයි අඳින්නෙ. වෘත්තීය වටපිටාවකට කිසිසේත්ම ගැළපෙන්නෙ නෑ.

6. Skinny jeans? අම්මෝ එපා!!
Skinny jeans වෘත්තීය පෙනුමෙන් සෑහෙන්න ඈතයි. ඔෆිස් එකට අඳින්නම එපා. ඔන්න සිකුරාදට වගේ නම් ප්‍රශ්ණයක් නෑ. ඒත් ඔබේ ඔෆිස් එකේ වටපිටාව අනුව ඒක වෙනස් වෙනවා.

7. කලිසමේ දිග පිළිබඳ සැලකිලිමත් වෙන්න
ඔබගේ කලිසම වලලුකර වටා රැලිගැසෙන තරමට දිගු නොවිය යුතුයි. ඒ වගේම වලලුකර නිරාවරණය වෙන තරමටම කෙටිත් නොවිය යුතුයි. සිටගත් විට කලිසමේ අගම කොටස ඔබගේ සපත්තුව වටාම ස්පර්ශ වනවා නම් ඒ නියම දිගයි.

8. කලිසමේ බෙල්ට් ලූප් තියනවා නම් බෙල්ට් දාන්නම වෙනවා
කවදාවත් බෙල්ට් ලූප් හිස්ව තියන්න බෑ. එය ඔබට අසම්පූර්ණ පෙනුමක් ගෙන එනවා. ඒ නිසා කලිසමට කලිසමේ වර්ණයට ගැළපෙනට බෙල්ට් එකක් පලඳින්නම වෙනවා. ( බෙල්ට් එක තෝරගන්න හැටි අපි ඉදිරි ලිපියකින් කතා කරමු )

Comments
(Visited 6,273 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *